අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය නීති රීති ලිහිල් කිරීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය බවට යම් තාක් දුරකට එකඟ වෙනවා

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය නීති රීති ලිහිල් කිරීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය බවට වන චෝදනාවට යම් තාක් දුරකට එකඟ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය I) විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නල්ඩ් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘අලුත් අවුරුදු සමයෙන් පසුව කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය’ යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (අප්‍රේල් 22) පැවති මාධ්‍ය හමුවේදී ය.

අලුත් අවුරුදු සමයේ ජනතාව වගකීමකින් තොරව හැසිරුණු බැවින් කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යාමක් මේ වන විට වාර්තා වී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිනොපදින පිරිසක් සිටින බවත් එහි ප්‍රතිඵලවලට ඉදිරියේදී රටක් වශයෙන් මුහුණ දීමට බොහෝවිට සිදුවේ යැයි ඔහු එහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය අවුරුදු උත්සව පැවැත්වීමට අවසර ලබා දී සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීම හේතුවෙන් කොරෝනාවෛරස ව්‍යාප්තිය ඉහළ ගිය අතර එම වරද ජනතාවට පවරන්නේ ඇයි ද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් වෛද්‍යවරයා පැවසුවේ, ගිය වසරේ ද අවුරුදු සැමරීමට ජනතාවට නොහැකි වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දී අවුරුදු සැමරීමට අවසර දීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අතර තර්ක විතර්ක ඇති වූ බවය.

අදාළ චෝදනාවට යම් තාක් දුරකට එකඟ වන බව පැවසූ වෛද්‍යවරයා, අවුරුදු සැමරීමට යම් ලිහිල් බවක් ලබා දුන්න ද ආපසු හැරී බලන විට ජනතාව වගකීමකින් තොරව හැසිරුණු බව පෙනී යන්නේ යැයි පැවසීය.

එම නිසා මැයි දින පෙළපාලි ආදිය නතර කිරීමට බලධාරීන් තීරණය කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *